ලෝකයේ පළමු වැනි තට්ටු දෙකේ සුහුරු කාණුව නිර්මාණය කරමින් 2025 ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මානය (WIPO Global Awards) හිමි කරගත් ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය 2025 ජූනි මස 19 වැනි දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළට පැමිණියාය. ඇය විසින් නිර්මාණය කරන ලද මෙම ස්මාර්ට් තට්ටු දෙකේ කාණු පද්ධතිය, වැසි කාලවලදී නගර ප්‍රදේශවල පවතින ජල ගැලීම් ගැටලුවට අඛණ්ඩවිසඳුමක් ලෙස හඳුන්වා දී ඇත. මෙම කාණුවේ විශේෂත්වය නම්, එහි උඩු තට්ටුව මගින් ජලය සමග ගලා එන ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය අල්ලා ගැනීමත්, පහළ තට්ටුව මගින් පිරිසිදු වැසි ජලය නිදහසේ ගලා යාමට ඉඩ සැලසීමත්ය. මෙම නවෝත්පාදනය ගංවතුර පාලනයට ලෝකයේ වැදගත් දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) විසින් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පවත්වන ලද මෙම සම්මාන උළෙලට ලෝකයේ රටවල් 95කින් නවෝත්පාදන 780ක් ඉදිරිපත් කර තිබූ අතර, ආචාර්ය නදීශා චන්ද්‍රසේනගේ මෙම නිර්මාණය එයින් විශිෂ්ඨතම එකක් ලෙස තෝරා ගන්නා ලදී. දිවයිනට පැමිණි ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය තම නිර්මාණය පිළිබඳව අදහස් දක්වමින් ප්රකාශ කළේ, වර්තමානයේ නගරවල පවතින විවෘත කාණු පද්ධතිවල ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්ය සිරවීම නිසා ජල ගැලීම් ඇතිවීම සුලභ ගැටලුවක් බවට පත්ව ඇති බවයි. ඇයගේ මෙම නවෝත්පාදනය මගින් එම ගැටලුවට කාර්යක්ෂම විසඳුමක් ලබා දී ඇති අතර, එය ගංවතුර පාලනයට හා නාගරික ජල ජම් ගැටළු අවම කිරීමට සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇතැයි ඇය විශ්වාස කරයි. තවදුරටත් ඇය පෙන්වා දුන්නේ, මෙම තාක්ෂණික නවෝත්පාදනය ලෝකයේ වෙනත් රටවලට ද උපයෝගී කරගත හැකි වන අතර, එමගින් ගෝලීය ජල සම්පත් කළමනාකරණයට දියුණු ක්‍රමවේදයක් ලබා දෙනු ඇති බවයි.