කොළඹ මහාධිකරණයේදී නඳුන් චින්තක වික්‍රමරත්න (හරක් කටා) ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අලුත් නඩුවක් ගොනු කර ඇත. මෙම නඩුව 2023 සැප්තැම්බර් මස 05 වන දා කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවන ලදී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී පලා යාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 50 ක් මෙම නඩුවට අදාළ වේ. විත්තිකරුවන් ලෙස හරක් කටා, හිටපු කොස්තාපල් රවිඳු සන්ධිප ගුණසේකර, දිනේෂ් තරංග, මිදිගම රුවන් (රුවන් චාමර) සහ සංජීව අබේසිංහ යන පස්දෙනා නම් කර ඇත. නඩුව කැඳවූ අවස්ථාවේදී දැඩි ආරක්ෂක පියවර යටතේ විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. අධිචෝදනා පත්‍ර භාරදීමෙන් පසු ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවීමට අධිකරණය නියම කළේය. හරක් කටාගේ රඳවුම් නියෝගය අවසන් වීමෙන් පසු ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත්, අනෙක් විත්තිකරුවන් සිව්දෙනා ද රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් විනිසුරුවරයා නියෝග කළේය. නඩුව යළිත් සැප්තැම්බර් 24 වන දා කැඳවීමට නියමිතය. මීට පෙර නීතිපතිවරයා විසින් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ චෝදනා පත්‍රය අස්කර ගැනීමට රජයේ නීතිඥ සජිත් බණ්ඩාර ඉල්ලා සිටියි. විත්තිකරුවන් අභියාචනාධිකරණයේ අභියාචනා ඉදිරිපත් කර ඇති බැවින්, ඒ සම්බන්ධ නියෝග ලබාදිය හැකි බව විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත. විත්තිකරුවන්ගේ නීතිඥවරුන් අභියාචනා අස්කර ගැනීම සඳහා මෝසමක් ඉදිරිපත් කරන බව දැනුම් දී ඇත. මෙම නඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති අතර, 2023 අප්‍රේල් 01 සිට සැප්තැම්බර් 10 දක්වා කාලය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රඳවාගැනීමේදී පලායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා එල්ල වී ඇත. මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 74 දෙනෙකු ද නම් කර ඇත.