ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක්, කළමණාකාර සහකාරවරයෙක් සහ තවත් සිවිල් පුද්ගලයෙකු ඇතුළු සැකකරුවන් තුන්දෙනා 2024 ජනවාරි 17 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කරන ලදී. ඔවුන් රක්ෂෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හේතුව වූයේ රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය උපකරණ වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර, ඒවා රෝහලේ නිල ක්‍රමවේදය අතහැර භාහිර ආයතන මගින් මිල අධික ලෙස මිලදී ගැනීමට උපදෙස් දීමයි. මෙම ක්‍රියාවලිය තුළ රෝහලේ සැපයුම් අංශය නිසි ලෙස ඉල්ලුම් නොකිරීම නිසා රෝගීන්ට හා රාජ්‍යයට පාඩුවක් සිදුව ඇති අතර, එමගින් සැකකරුවන්ට හෝ තෙවන පාර්ශවයකට අනවසර ලාභ ලබා ගැනීමට හැකියාව ඇති වී ඇත. CIABOC නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරමින්, මෙම විමර්ශනය තවමත් අසම්පූර්ණ බව සඳහන් කර ඇත. ඒ අනුව, මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් 2024 ජනවාරි 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. මෙම චෝදනා රෝහල් පරිපාලනයේ දූෂිත චර්යාවන්ට එරෙහිව ගෙන යන ප්‍රධාන විමර්ශනයක කොටසක් ලෙස සැලකේ.