
මෙම වර්ෂයේ පළමු බෝ නොවන රෝග පිළිබඳ ජාතික සභාව ඊයේ (24) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී රැස්විය. මෙම සභාව රට තුළ බෝ නොවන රෝග පාලනය සහ නිවාරණය කිරීම සඳහා ඉදිරි සැලසුම් සකස් කිරීමේ අරමුණින් යුත්, විද්වතුන්ගෙන් සමන්විත වූ ප්‍රධාන විද්වත් සමුළුවකි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, අතිරේක ලේකම්වරුන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ අනෙකුත් අදාළ අමාත්‍යාංශ, දෙපාර්තුමේන්තු සහ ආයතනවල නම්කළ නිලධාරීන් මෙම ජාතික සභාවට සහභාගී විය. සභාවේදී, ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්වත් කණ්ඩායමක් විසින් සිදුකරන ලද මෙරට පිළිකා රෝග පාලනය පිළිබඳ විශේෂ ඇගයීමක් ඇසුරින් සම්පාදනය කරන ලද විශේෂ වාර්තාව අමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබීය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතම අරමුණක් වන අතර, වර්තමානයේ බෝ නොවන රෝග එයට ඇති අභියෝගය පාලනය කිරීම සඳහා රජය සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමග දැඩි පරිශ්‍රමයක් ගන්නා බවයි. මෙම ජාතික සභාව එම අරමුණු සාක්ෂාත් කර ගැනීමට මනා පිටුවහලක් බව ද ඔහු සදහන් කළේය. ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධනය වත්මන් රජයේ ප්‍රතිපත්ති දිශානතියේ තීරණාත්මක අංගයක් ලෙස අමාත්‍යවරයා විසින් ඉහළ නංවා පෙන්වන ලදී. මෙම අරමුණ යටතේ ආරම්භ කරන ලද "ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය" මගින් නිශ්චිත ජනගහනයක් ඉලක්ක කර සෞඛ්‍ය සේවා සපයන අතර, එමගින් බෝ නොවන රෝග හඳුනාගැනීමට සහ පාලනයට මහත් රුකුලක් වනු ඇති බව ද අමාත්‍යවරයා පැහැදිලි කළේය. සාකච්ඡාවලදී, පසුගිය වසර තුළ බෝ නොවන රෝග පාලනය සඳහා සිදු කළ ක්‍රියාකාරකම් සහ වැඩපිළිවෙළ සමාලෝචනය කරන ලදී. එමෙන්ම හෘද රෝග, ආඝාතය, පිළිකා, මානසික රෝග, දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග පාලනයට හා වළක්වා ගැනීමට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ සැලසුම් සකස් කිරීම පිළිබඳව දීර්ඝ සාකච්ඡා සිදු විය. ඉදිරියේදී මෙම රෝගවලින් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනෙකුත් අමාත්‍යාංශ සමග එක්ව කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන සැලසුම් කඩිනමින් සකස් කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මත විශේෂ අවධානය යොමු කෙරිණි.