generalAug 5, 2025, 08:04 AM

'Clean Sri Lanka' වැඩසටහන යටතේ පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ සංවර්ධනය කිරීමට අනුමැතිය

'Clean Sri Lanka' වැඩසටහන යටතේ පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ සංවර්ධනය කිරීමට අනුමැතිය

පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ දශක ගණනාවක් තිස්සේ යාවත්කාලීන කිරීම් හෝ අලුත්වැඩියා කටයුතු සිදු නොවීම හේතුවෙන් දැඩි අබලන් තත්ත්වයකට පත්ව ඇත. මෙම නැවතුම්පොළේ ප්‍රවේශ මාර්ග, බස් රථ අංගන, මගී නැවතුම් ස්ථාන, රියදුරු හා කොන්දොස්තරවරුන් සඳහා විවේරාගාර, පරිපාලන ගොඩනැගිලි, සනීපාරක්ෂක පහසුකම් සහ ජල අපවහන පද්ධති ඇතුළු සියලුම පහසුකම් දුර්වල තත්ත්වයක පවතින බව වාර්තා වේ. මෙම තත්ත්වය නිසා නැවතුම්පොළ භාවිතා කරන මගීන්, රියදුරු, කොන්දොස්තරවරුන් සහ මෙහෙයුම් කාර්ය මණ්ඩලයට දැඩි අපහසුතාවන් ඇති වී ඇත. මෙම ගැටලුවට පිළිතුරු වශයෙන්, පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ නවීකරණය කිරීමේ හා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ඉස්මතු වී ඇත. ඒ අනුව, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 425ක අයවැයක් වෙන් කර ඇති අතර, 'Clean Sri Lanka' වැඩසටහනේ අරමුදල් යොදා ගනිමින් කටයුතු සිදු කිරීමට යෝධනා කර ඇත. මීට අමතරව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, කොළඹ මහ නගර සභාව, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය වැනි ආයතනවල සහයෝගීතාවයෙන් මෙම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය අතිතයේ සිට පැවති ගැටලු විසඳා, නවීන පහසුකම් සහිත ඵලදායී මධ්‍යම බස් නැවතුම්පොළක් බිහි කිරීම අරමුණු කර ගෙන ඇත.

News Sources

Gagana News