දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි පේළි පෙරහැරේ ගමන් කරමින් සිටි "භානුක" නම් අලියෙකු හදිසියේ කලබලකාරී ලෙස හැසිරීම නිසා ඊයේ (04) රාත්‍රියේ උත්සව භූමියේ අස්ථාවර තත්ත්වයක් ඇති විය. මෙම සිදුවීමත් සමඟ පෙරහැර නැරඹීමට රැස්ව සිටි ජනතාව බියෙන් පැන ගිය අතර, තත්ත්වය තවත් උග්‍ර විය. කලබල වූ අලියාගේ පහරදීමකට ලක්වූ ඇත් ගොව්වෙකු මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ. මැදමුලන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඇත් ගොව්වාගේ තුවාල සාමාන්‍ය තත්ත්වයේ ඇති බව රෝහල් මූලාශ්‍ර පෙන්වා දෙයි. කතරගම ප්‍රදේශයෙන් මෙම පෙරහැරට රැගෙන ආ "භානුක" නම් අලියා කුලප්පු වීම නිසා පෙරහැර තාවකාලිකව නතර වූ අතර, සංවිධායක මණ්ඩලය වෙනත් අලි ඇතුන් පෙරහැරෙන් ඉවත් කර නැවත පෙරහැර ගමන් කිරීමට පියවර ගත්හ. පසුව ඇත් ගොව්වන් සහ වනජීවී නිලධාරීන්ගේ සහයෝගයෙන් කලබලකාරී අලියා පාලනය කර ගන්නා ලදී. මීට පෙර මාර්තු 21 වන දින දෙවිනුවර දේවාලය ඉදිරිපිටම තරුණයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කරන ලද අතර, එම ස්ථානයේදීම මෙම අලියා කුලප්පු වීම විශේෂත්වයකි. මේ අතර, දේවාලයේ බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුශංක මහතාගේ නායකත්වයෙන් සිව්වැනි පේළි පෙරහැර අද (05) රාත්‍රියේ නියමිත පරිදි පැවැත්වීමට සූදානම් වී ඇති බව සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කර ඇත.