බදුල්ල නගරයේ ඊයේ (10) රාත්‍රී පැවති 85 වැනි මිහිඳු පෙරහැර අතරතුර හස්තියෙකු කලබල වීම නිසා කෙටි කාලයක් නොසන්සුන් තත්ත්වයක් ඇති වුවද, අනතුරකින් තොරව සිදුවීම නිමා විය. බදුල්ල කයිලගොඩ මිහිඳු පෙරහැර, බදුල්ල සද්ධර්මානන්ද පිරිවෙන් විහාරස්ථානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සම්ප්‍රදායික උත්සවයකි. මෙම වසරේ පෙරහැර අලි ඇතුන්, නර්තන කණ්ඩායම් සහ විවිධ විශේෂාංග සමඟින් විරාජමාන විය. කෙසේ වෙතත්, පෙරහැරේදී කරඬුව වඩම්මනු ලැබූ හස්තියා කලබල වීම නිසා කෙටි වේලාවක අවුල් සහගත තත්ත්වයක් ඇති විය. එහෙත් ඇත්ගොව්වාගේ කුසලතාවයෙන් හස්තියා ඉක්මනින් සන්සුන් කරනු ලැබූ අතර, පෙරහැර නැවත ආරම්භ කර එය සාර්ථකව නිමා කෙරුණි. මෙම සිදුවීම තුළ කිසිදු හානියක් හෝ අනතුරක් සිදු නොවූ බව වාර්තා විය. මිහිඳු පෙරහැර බදුල්ල වැසියන්ගේ ආගමික හා සංස්කෘතික උත්සවයක් ලෙස විශේෂ ස්ථානයක් ගන්නා අතර, වාර්ෂිකව දහස් ගණන් භක්තිකයන් එක්රැස් වන සිදුවීමකි.