ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක හා කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායක ධාරිතා වර්ධනය සඳහා නව ආයෝජන අවස්ථා පිළිබඳව ඉන්දියානු ව්‍යවසායකයින් උනන්දු වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි. පවතින ආයෝජන අවස්ථා වර්ධනය කිරීම සහ නව අවස්ථා ගවේෂණය කිරීමේ අරමුණින්, ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) සම්බන්ධීකරණයෙන් ඉන්දියාවේ ප්‍රමුඛ සමාගම්වල ප්‍රධානීන් ඇතුළු ව්‍යවසායකයින් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී වැඩසටහනකට සහභාගී වී ඇත. 2024 ජනවාරි 01 වන දින පස්වරුවේ, මෙම කණ්ඩායම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අතර, ඔවුන් ජනාධිපතිවරයාගේ පසුගිය ඉන්දීය නිල සංචාරයේදී කරන ලද ආරාධනය අනුව ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සඳහන් විය. ඔවුන් දැනටමත් ශ්‍රී ලංකාවේ ඇමැතිවරුන් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා පවත්වා ඇත. ජනාධිපතිවරයා රට තුළ ආර්ථික ස්ථාවරත්වය ඇති වීමත් සමඟ ආයෝජකයින්ට උචිත පරිසරයක් නිර්මාණය වී ඇති බව අවධාරණය කළේය. රජය විසින් ආර්ථිකය ස්ථාවර කිරීම සහ ආයෝජන හිතකර පසුබිමක් ගොඩනැගීම සඳහා ගෙන ඇති පියවර ගැන ඉන්දීය ව්‍යවසායකයින් දැනුවත් කරන ලදී. මහා පරිමාණ ආයෝජන සඳහා අවශ්‍ය නීතිමය හා ආයතනික යටිතල පහසුකම් ශක්තිමත් කර ඇති අතර, ආයෝජන ක්‍රියාවලියේ දූෂණය හා නාස්තිය වැළැක්වීමට කටයුතු කර ඇති බව ජනාධිපතිවරයා පැහැදිළි කළේය. කලාපීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නව ව්‍යාපාරික අවස්ථා ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ආයෝජකයින්ගේ අවධානය යොමු කර ඇති අතර, ඉන්දීය ව්‍යවසායකයින් ජනාධිපතිවරයාගේ පැහැදිළි කිරීම්වලින් දිරිගැන්වීමක් ලබා ඇති බව ප්‍රකාශ කළහ. මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා, සහ ITC ලිමිටඩ් සභාපති සංජිව් පූරි වැනි ඉන්දීය කර්මාන්ත නායකයින් සහභාගී විය.